සාර්ක් චන්ද්‍රිකාව දියත් කරනු ලැබීම වෙනුවෙන් මෛත්‍රීගෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට සුබපැතුම්

ශී‍්‍ර ලංකාව ඇතුළු සාර්ක් සංවිධානයේ සාමාජික රටවල් සියල්ලටම පොදු සන්නිවේදනය සදහා යොදා ගත හැකි චන්ද්‍රිකාවක් ඉන්දියාව විසින් අද (05) පස්වරුවේ ගුවන්ගත කරනු ලැබූ අතර ඒ වෙනුවෙන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත සිය සුබපැතුම් පිිරිනැමීය.අද පස්වරුවේ අනුරාධපුර ජනාධිපති මන්දිරයේ සිට චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇමතූ ජනාධිපතිතුමා සිය සුබපැතුම් පිරිනමමින් ප‍්‍රකාශ කළේ සාර්ක් රටවල් අතර සහයෝගීතාවය හා සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් අභිවෘද්ධිය හා ප‍්‍රගමණය උදාකර ගැනීම සඳහා මෙම චන්ද්‍රිකාව දියත් කිරීම ඓතිහාසික සන්ධිස්ථානයක් වනුඇති බවයි.

සාර්ක් කලාපීය රටවල් අතර සම්බන්ධතාවය ශක්තීමත් කිරීම වෙනුවෙන් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ කැපවීම ද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්විය.

‘දකුණු ආසියානු සන්නිවේදන චන්ද්‍රිකාව’ ලෙස හදුන්වා ඇති මෙම චන්ද්‍රිකාව ආන්ද්‍රා ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ රොකට් අංගනයෙන් අද පස්වරු 4.57 ට පමණ ගුවන්ගත කෙරුණු අතර ඉන්දීය රුපියල් කෝටි 450 ක වියදමින් කි‍්‍රයාත්මක වන ව්‍යාපෘතිය දියත් කරනු ලබන්නේ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ,සංවර්ධනය සියල්ලන්ටම, යන සංකල්පය යටතේය. මෙම චන්ද්‍රිකාව මගින් දකුණු ආසියානු රටවල රූපවාහිනි වැඩසටහන් හුවමාරු කර ගැනීමේ හැකියාව පවතින අතර පුළුල් තොරතුරු තාක්ෂණ සබදතා, දුරස්ථ අධ්‍යාපනය හා ආපදා කළමනාකරණය ඇතුළු ක්ෂේත‍්‍රවලදී සහය ලබාදෙනු ඇත.

මෙහි ආවරණ කලාපය සමස්ත දකුණු ආසියාව පුරා ව්‍යාප්ත වන හෙයින්, එහි පාර්ශව රාජ්‍යයක් ලෙස ශී‍්‍ර ලංකාවට යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යාමට හැකිවනු ඇති බව ද සඳහන් කළ ජනාධිපතිතුමා දරිද්‍රතාවය තුරන් කිරීම හා ජීවන තත්ත්වයන් නගා සිටුවීම තුළින් සමස්ත කලාපයේම ජනතාවට ඔවුන්ගේ ආර්ථික හා සමාජයීය තත්ත්වන් දියුණු කරලීමට මෙමගින් අගනා සහායක් ලැබෙනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

Leave your comment