වෙසක් සමයේ යළි උපදින ගායකයා

වෙසක් කාලෙට ඉතින් හුදී ජන පහන් සංවේගය උදෙසා නැතුවම බැරි හඬක් වන අල්හාජ් මොහිදීන් බෙග් ගායකයානන්ගේ හඬ………දශක ගණනාවක් පුරාවට මෙරට රැව්පිළිරැව් දෙමින් පවතින්නකි.

මේ වෙසක් සමයේ සැමගේ සිත් සතන් බුද්ධාලම්බන ප්‍රීතියෙන් සනහාලු අල්හාජ් මොහිදීන් බෙග් පිළිබඳ සිදුකරනු ලබන අවර්ඡනයකි.

‘වෙසක්’ කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සමරන උලෙළ මෙන්ම නැසීගිය අල්හාජ් මොහිදීන් බෙග් මහා ගායකයාණන් ගැයූ බොදු ගීත ද ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑර රැව්පිළිරැව් දෙන උලෙළයි. විශේෂයෙන්ම ‘බුද්ධං සරණං ගච්ඡාමි’ නමැති බුදුගුණ ගීතය, එය රචනා කළ කරුණාරත්න අබේසේකර සූරීන්ගේ හා බෙග් මාස්ටර්ගේ නාමයන් අමරණීය කරවමින් රැව් දෙන උලෙළයි. අදත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගීතය කුමක්දැයි යමකු මගෙන් විමසුවහොත් මට දෙන්නට ඇත්තේ එකම එක පිළිතුරකි. ඒ බෙග් මාස්ටර් ගැයු ‘බුද්ධං සරණං ගච්ඡාමි’ ගීතය බවයි. සැබැවින්ම මේ අසිංහල අබෞද්ධයා සිංහල ජාතිය, ශ්‍රී ලංකාව හා බුද්ධ ශාසනය පිළිබඳව වැඩිපුරම ගී ගැයූ ගායකයා බවට පත් වීම ආශ්චර්යයක්ම නොවේ ද?

1918 දෙසැම්බර් 5 වැනිදා මදුරාසියේ සේලම් නුවර දී උපන් ‘කරීම් මොහිදීන් බෙග්’ මෙරට සිටි තම ඥාතියකු සොයා පැමිණ අනතුරුව මෙහි නතර විය. ඒ 1932 දීය. 1934 දී යූ. ඩී. පෙරේරා සූරීන් ලියූ ‘කරුණා මුහුදේ නාමු ගිලීලා’ ගීතය කේ. කේ. රාජලක්ෂ්මී සමඟ ගායනා කරමින් ගී ලොවට පිවිසි ඔහු එතැන් සිට 1991 නොවැම්බර් 4 වැනිදා මියයන තුරුම සිය ගැඹුරු මියුරු හඬින් ගීත අටදහසකට වඩා ගායනා කළේය.

භාරතීය මහා ගායක මොහමඩ් රාෆි මෙහි ආ විට බෙග් මාස්ටර් හා එච්. ආර්. ජෝතිපාලයන් අගය කළේය. ජෝති උපදින්නට තිබුණේ භාරතයේ බව රාෆි පැවසීය. එසේ නම් භාරතයේ ඉපදී එහි නොසිට මෙහි පැමිණීමෙන් බෙග් මාස්ටර් තමන්ටම කර ගත්තේ වරදක් ද? අප රට ඔහුට සැලකූ ආකාරයෙන් එය එසේ සිතන්නට සිදු වේ. මේ අප්‍රමාණ ගායන හැකියාව සහිතව භාරතයේම සිටියා නම් බොහෝ දේ ලබා ලෝක පූජිත වන්නට බෙග් මාස්ටර්ට ඉඩ තිබුණි. එසේ වූවා නම් එය රාෆිට පවා අභියෝගයක් වන්නට තිබූ බව කීම සැබෑවකි.

සිංහල සිනමාවේ දෙවන චිත්‍රපටය වූ ‘අශෝකමාලා’ තුළින් සිනමාවට පැමිණි බෙග් මාස්ටර් සිංහල සිනමාවේ මුල්ම ‘ස්ථාවර’ පසුබිම් ගායකයායි. ‘ජීවන ගීතය’ හා ‘සැඟවුණු මැණික’ චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂවරයා ද වූ බෙග් මාස්ටර් අශෝකමාලා – ජීවන ගීතය – සුජාතා – චණ්ඩියා – වරද කාගෙද වැනි චිත්‍රපටවල රඟපෑවේය. උර්දු ගීත රාශියක් ද ගැයූ ඔහු තමාගේ ගීත රැසකට තනු හදා ගත්තේය. එකල සිංහල සිනමාවේ ස්වභාවය අනුව චිත්‍රපටයක අවසානයේ බෙග් මාස්ටර්ගේ උච්ච ස්වරයෙන් ගැයෙන ගීතයක් අනිවාර්ය වී තිබුණි. එය බොහෝ විට ආදර්ශවත් ගීතයකි. ඔහුගේ බොහෝ චිත්‍රපට ගීත පවා සරල ගී මෙන්ම ආදර්ශවත් ගීත බවට පත් වූයේ එලෙසිනි. ගුවන්විදුලියට – සිනමාවට හා තැටිවලට බෙග් මාස්ටර් ගැයූ ආදර ගීත හා වෙනත් විවිධ ගීත රාශිය ද ඉතාමත් රසවත්ය. බෞද්ධයන්ගේ දේව විශ්වාසයන් ගැන කියවෙන දේවෝපහාර ගී රැසක් ද ඔහු ගයා තිබේ.

‘අශෝකමාලා’ හි ‘නයනා වැනි සුදෝ’ ගීය භාග්‍යවතී සමඟ ගයමින් පසුබිම් ගායකයකු වූ ඔහු ‘සුජාතා’ (නව නිෂ්පාදනය) දක්වා චිත්‍රපට තුන්සියයක පමණ ගී ගයා ඇත. ‘තනිවයි උපන්නේ’, ‘පෙම් පහන නිවී’ (අශෝකා) ‘මායා’, ‘පෙම් අමධාරා’, ‘ආදර නදිය ගලා’, ‘මගේය ප්‍රේම මාලිනී’, ‘අන්න සුදෝ අර පාට වලා’, (කැලෑහඳ) – ‘දුකින් පිරුනු මේ ලෝකේ’ (උමතු විශ්වාසය – ‘මංගලම් ජය මංගලම්’ (චණ්ඩියා) – ‘නාරිලතා පුෂ්පේ’, ‘ප්‍රේමාලෝකය නිවී ගියා’ (සුජාතා) – ‘ගිරිහෙල් මුදුණේ’ (ඩිංගිරි මැණිකා) – ‘පියලී කැඩීල වැටුණා’, ‘දලුලා ප්‍රේම ගසේ’ (වරද කාගෙද) – ‘පෙම් සිහිනේ මාලිගයේ’ (ජීවිත සටන) – ‘ශ්‍රී ලංකා’, ‘ඉදිරියටා යමු සැවොමා’ (සැඩ සුළං) – ‘බුද්ධං සරණං ගච්ඡාමී’ (අංගුලිමාල) – ‘තරු පායන ආකාසේ’, ‘රාණී එන්කෝ නැගී මපෙම්’ (අයිරාංගනී) – ‘සාගර හිමිය සොයා’ (දෛව විපාකය) – ‘සරවන බව කඳ සුරිඳුගෙ තෙදබලේ’ (මහරෑ හමු වූ ස්ත්‍රිය) – ‘නින්දා ප්‍රශංසාව මිනිසාටමයි’ (සිතක මහිම) – ‘මල් සුගන්දේ දම් සුගන්දේ’ (කිංකිණිපාද) – ‘හිම බිම පාලන සුරි‍ඳේ’, ‘ශ්‍රීපාද හිමේ දෙයියන්ගෙ රටේ (දෙයියන්ගෙ රටේ) – ‘පෙම් සීන ලෝකෙ මායා’, ‘පෙම් මල් මාලා’ (මතබේදය) – ‘ලෝ ජීවිත කතරේ’ (අයිරාංගනී) – ‘මොකටද කාසි බාගෙ’ (ඩිංගිරි මැණිකා) – ‘ලොවේ දෙයියො සල්ලි තමා’ (දුප්පතාගෙ දුක) – ‘වැල්ල සිඹින රැල්ල’ (ධීවරයෝ) – ‘සිනහවෙන් හෝ කතාවෙන්’ (දමයන්ති) – ‘ඈත ආකාසේ, ‘මැණිකක් රකිනා’ (චණ්ඩාලි) – ‘නොදැන කරපු දේ’ (සතපනහ) – ‘හදගිලෙයි අම මිහිරේ’, ‘ආදරියේ රුචිරාණනියේ’ (දෛව යෝගය) වැනි අතිශ්‍ය ජනප්‍රිය චිත්‍රපට ගීත රාශියකට ජීවය දුන් බෙග් මාස්ටර් අවසන් වරට ‘සුජාතා’ නව නිෂ්පාදනය සඳහා ‘සුජාතා’ මුල් නිෂ්පාදනයට ඔහුම ගැයූ ‘නාරිලතා පුෂ්පේ’ ගීය යළි ගැයුවේය. භාරතීය ගීත කෝකිලා ලතා මංගේෂ්කාර් සමඟ ගී ගැයු එකම ශ්‍රී ලාංකික ගායකයා ද ඔහුය. ඒ ‘සැඩ සුළං’ චිත්‍රපටයේ ‘ශ්‍රී ලංකා’ ගීතයයි. ‘සරවන බව කඳු සිරිඳුගෙ තෙදබලේ’ (මහ රෑ හමු වූ ස්ත්‍රිය චිත්‍රපටයේ) ගීතයට සහ ‘පියා සලන ඉගිල්ලී’ (අල්ලපු ගෙදර චිත්‍රපටයේ) යන ගීත වෙනුවෙන් එම වසරවල හොඳම පසුබිම් ගායකයා ලෙස බෙග් මාස්ටර්ට සම්මාන හිමි විය.

සිය මාමණ්ඩියකගේ දියණිය වූ ‘සකීනා බී’ සමඟ විවාහ වූ ඔහුට පුතුන් පස් දෙනකු හා දියණියන් තිදෙනකු ලැබුණි. මේ සියලු දෙනා සමඟ බෙග් මාස්ටර් ජීවත් වූයේ මරදානේ ශ්‍රී වජිරඥාන මාවතේ අංක 50 දරන කුඩා නිවෙසේය. පාරෙන් අඩි දෙක තුනක් පමණ දුරකින් නිවසේ දොර තිබුණි. දොරෙන් ඇතුළු වූ විට සාලය, ඉස්තෝප්පුව කියා වෙනසක් නැති පුංචි හතරැස් කොටසකි. පිරිමි සියල්ලන් නිදාගත්තේ එම කොටසේ පැදුරු එළාගෙනය. රණසිංහ ප්‍රේමදාසයන් අගමැති වූ පසුව බොහෝ කලාකරුවන්ට මහල් නිවාස ලබා දුන් අතර බෙග් මාස්ටර්ට ද එබඳු අවස්ථාවක් හිමි වුවත් මහල් නිවාසය ද ඉඩකඩ මදි නිසා ඔහු කැමති නොවීය. “මේ හුණ්ඩුවෙන් තවත් හුණ්ඩුවකට ගිහින් මොකටද මල්ලී…” ඔහු මා සමඟ කීය. විවාහ වුවද තමා ළඟම තබාගන්නට කැමති දරු පිරිවරද සමඟ එකට ජීවත්වීම සඳහා ඉඩකඩ ඇති නිවෙසක් පමණක් ඔහුගේ අහිංසක පැතුම විය. එහෙත් ඉටු නොවූයේ ද එයමය.

ජෝතිගේ පියා වූ එච්. ආර්. ජේමිස්ගේ ටේලර් සාප්පුව පිහිටියේ බෙග් මාස්ටර්ගේ නිවෙසට යාබදවයි. ජෝති ගී ලොවට එන විට ජෝති ‘බලා ගන්නට’ ජේමිස් අයියා විසින් බාර දී ඇත්තේ බෙග් මාස්ටර්ටය. පසුව ජෝති සිනමාවේ ඉහළටම ගියත් බෙග් මාස්ටර් දුටු විට නැඟී සිටීම ඔහුගේ සිරිත විය.

දොළොස් වසරක් පමණ සමීප ඇසුරේ සිටි මම ඔහුගේ කඳුළු බොහෝ වතාවක් දැක ඇත්තෙමි. වරක් ආදායම් බදු ප්‍රශ්නයක් මත බෙග් මාස්ටර් විනාඩි හතළිහක් උසාවියේ රඳවා ගැනුණි. බාල පුත් ඉලියාස් එහි ගොස් මුදල් ගෙවූ පසුව බෙග් මාස්ටර් නිදහස් කෙරිණ. “මේ හුණ්ඩුවේ ලොකු පවුලක් නඩත්තු කරන මට මොන ටැක්ස් ද? මට සේරම එපා වුණා. ආපහු ඉන්දියාවට යන්න හිතෙනවා…” කියමින් ඔහු හඬා වැටුණේය.

“මම මුස්ලිම් මනුස්සයා. ඉන්දියාවේ ඉපදිලා මෙහාට ආවා. මේ මගේ ලැබීම. මැරෙන තුරා බුදුගුණ සිංදු කියන්න මම ලෑස්තියි.”

බෙග් මාස්ටර් නිතර එසේ පැවසීය. එහෙත් ඔහු මියගොස් විසිහතර වසරක් ගතවෙද්දීවත් ඒ උදාර ගාම්භීර ගායකයාට කළගුණ සලකන්නට නොහැකි වීම ගැන මේ රට ලජ්ජා විය යුතුය. එක් සංයුක්ත තැටියකට ‘ආයුබෝ වේවා මහ රජාණෙනි’ නමින් රාජ ප්‍රශස්ති ගීයක් ගැයූ ගායිකාවකගේ නමින් පාරක් නම් කර තිබුණත් වැඩිම බොදු ගී ගැයූ අසිංහල අබෞද්ධ ගායකයා නමින් පාරවල් නැත. පිළිරූ ද නැත. මුද්දර ද නැත. ඒ කිසිවක් නැතත් ඔහුගේ ඇවෑමෙන් මාර්ග සංවර්ධනය සඳහා කඩා දමනු ලැබු බෙග් මාස්ටර්ගේ පුංචි නිවහන වෙනුවෙන් ස්ථිර නිවෙසක් හෝ දරු පවුලට ලබා දීමට බලධාරීන් පියවර නොගැනීම විග්‍රහ කරන්නේ කෙලෙස ද? කලාශූරී අල්හාජ් මොහිදීන් බෙග් මහා ගායකයාණන් ගැයූ ‘බුද්ධං සරණං ගච්ඡාමී’ ගීතය සම්බන්ධ සිදුවීම් දෙකක් ගැන කියා ඔහු පිළිබඳ මේ ලිපිය අවසන් කරන්නට මට සිතේ.

“මම ජාතික පෑනක් හොයා ගත්තා. ඒ පෑන තමයි කරුණාරත්න අබේසේකර. ‘කරු’ මට ලියපු සිංදු රත්රන් මැණික්වලට වැඩිය වටිනවා…” යනුවෙන් බෙග් මාස්ටර් එකල පැවසීය. ‘බුද්ධං සරණං ගච්ඡාමී’ ගීය ඒ ‘ජාතික පෑන’ ලියූ උතුම්ම ගීතයයි. භාරත් භූෂාන් ප්‍රධාන චරිතය රඟපෑ ‘අංගුලිමාල’ හින්දි චිත්‍රපටය එනමින්ම සිංහල දෙබස් කවා මෙරටේ තිරගත කිරිම සඳහා මේ ගීය භාරතයේදී පටිගත කෙරුණි. හින්දි ගීය ගයා තිබුණේ සුප්‍රකට ගායක මන්නාඩේය. සිංහල ගීත පටිගත කිරීම දැකගන්නට මන්නාඩේ ද ශබ්දාගාරයට පැමිණ සිටියේය. තමා හින්දියෙන් ගැයූ ගීයේ තනුවටම මොහිදීන් බෙග් සිංහලෙන් ගයනු අසා විස්මයට පත් වූ මන්නාඩේ ඒ අවස්ථාවේ එහි සිටි ජනප්‍රිය නළු ඩොමී ජයවර්ධනට මෙසේ පවසා ඇත.

“අයිසේ මේ මනුස්සයා මට වැඩිය හොඳට මේ සිංදුව කිව්වනෙ…”

දෙවන සිදුවීම අනුරාධපුරයේ සංගීත ප්‍රසංගයකදී සිදු වූවකි. බෙග් මාස්ටර් ජීවතුන් අතර සිටි කාලයේ ඔහු සහභාගිවූ සියලුම සංගීත සංදර්ශනවල ආරම්භක ගීතය ගැයුවේ ඔහුය. ඒ ‘බුද්ධං සරණං ගච්ඡාමී’ ගීතයයි. කතෝලිකයන් බහුල ප්‍රදේශවල පවා සංගීත ප්‍රසංගවල එය එසේම විය. එය ආරම්භ කර තිබුණේ ප්‍රසංග සංවිධායකයන් විසිනි. සෙසු ගායක ගායිකාවෝ ද ඊට විරුද්ධ නොවූහ. ඔහු මියගිය පසුව ඉෂාක් බෙග් පුතු සහභාගි වන ප්‍රසංගවලදී ද ඉෂාක් ලවා ‘බුද්ධං සරණං ගච්ඡාමී’ ගීතය ගායනා කරවීම සංවිධායකයන්ගේ සිරිත විය. මේ කියන දවසේ අනුරාධපුරයේ පැවැති ප්‍රසංගයේදී ඉතිහාසයේ ප්‍රථම වතාවට ‘බුද්ධං සරණං ගච්ඡාමී’ ගීතය ප්‍රසංගයේ ආරම්භක ගීතය ලෙස ඉෂාක් බෙග් ලවා ගායනා කරවීමට තවත් ගායකයෙක් විරුද්ධ විය. “එයා මුලින් දාන්න බෑ. මමයි මුලින් සිංදු කියන්න ඕනෑ.” කියා මේ ගායකයා ගෝරනාඩු කරද්දී ඉෂාක් මෙන්ම සංවිධායකයෝ ද අසරණ වූහ. උග්‍ර කතෝලික පුරවරයන්හි ප්‍රසංගවල ද කිසිදු විරෝධයකින් තොරව මුලින් ගැයුණු ‘බුද්ධං සරණං ගච්ඡාමී’ ගීතයට මෙසේ එරෙහි වූයේ බෞද්ධයකු බව කියාගන්නා ගායකයකු වීම වඩාත් කනගාටුදායකය. ගායකයාගේ විරෝධය බලවත් වීම නිසා මුලින් ගී ගයන්නට ඔහුට ඉඩ දෙන්නට සංවිධායකයන්ට සිදු විය.

ගායකයා තමාගේ ගීත තුනහතරක් ගයා වේදිකාවෙන් බැස ඉෂාක් ළඟින් ගියේ “බුද්ධං සරණං ගච්ඡාමී කියන්නේ සිංදුවක් ද…?” යනුවෙන් ඔහුට ඔලොක්කුවට මෙන් කියමිනුයි.

මේ ගායකයා පසු කාලයක ප්‍රාදේශීය දේශපාලන බලවතෙකු ලෙස තානාන්තරයක් හෙබවූ බව මතක් කරමි. මේ වෙසක් සමයටත් එළඹෙන පොසොන් සමයටත් පුර පෝ දිනවලත්, පන්සලේ – පින්කම්පොළේ – දන්සලේත් බෙග් මාස්ටර්ගේ ‘සද්දය’ ඇසෙනු වළක්වන්නට නම් එම ගායකයාට නොහැකිය. නොහැකිමය. එමෙන්ම, ජාති ආගම් බේද වපුරන්නට තැත් කරන ඊනියා අන්තවාදී බළසේනාවල එම අරමුණු වළකන දැවැන්ත පවුරක් ලෙසින් මේ සමාජය තුළ තව චිරාත් කාලයක් ‘අල්හාජ් මොහිදීන් බෙග්’ යන නාමයත්, ඔහු ගැයූ බොදු ගීතාවලියත් නැගී සිටිනු ඇත.

Leave your comment