නව නාවික හමුදාපතිට පුරවැසියෙකු යැවූ ඔබ කියවිය යුතුම විවෘත ලිපියක්!

වසර 47කට පසු ‘දමිළ’ නාවික හමුදාපතිවරයකු ලෙස පත්වන ට්‍රැවිස් සින්නයියා මහතා වෙත,

මේ සතියේ සියලුම ඉරිදා පුවත්පත් ඔබගැන දීර්ඝ ලිපි පළකර තිබුනා. නමුත් ඔබේ පත්වීම ගැන දැන ගත්තේ Facebook එකේ පළවූ දෙයාකාරයක පොස්ට් වලින්. එක් වර්ගයක කියවුනේ ඔබ දෙමළ නිසා ඔබට සුභ පතන බවත් දෙමළ අයකු නවිකහමුදාපති තනතුරට පත්කළ නිසා රජයට සුබපතන බවත්. දෙවැනි කාණ්ඩයෙන් කියවුනේ මෙය නරියන්ට කුකුල්ලු බාරදීමක් බවත් ඔබ පිටුපස ඇමරිකානු ඔත්තුසේවා සිටින බවත්ය. කෙසේවෙතත්, මම ඔබට සුබපතනවා. ඒ ඔබ ‘දෙමළ’ නාවික හමුදාපති කෙනෙක් වීම නිසානම් නෙමෙයි.

මම ඔබට සුබ පතන්නේ වීර වික්‍රම විභූෂණ, රණවික්‍රම, (තෙවරක්ම) රණශුර, සහ උත්තමසේවා යන විශිෂ්ඨතම සහ ඉහළම සම්මාන ලබාගෙන මෙම තනතුරට ආ නිසාය. මම ඔබට සුබපතන්නේ නාවික හමුදාවේ මි.මී. 30 අවියේ නිමැවුම්කරු නිසාය. එකවර තනතුරු තුනක්, නැගෙනහිර භාර නියෝජ්‍ය නාවික අණදෙන්නා, නාවික සහ සාගරික විද්‍යාපීඨයේ ප්‍රධානියා සහ නවිකාහමුදා නෞකා සමුහයේ ප්‍රධානියා වැනි තනතුරු වලට සාධාරණයක් ඉෂ්ටකර මෙම තනතුරට පත්වූ නිසාය. 2006 සැප්තැම්බර් 17 ඇරබී කොටින්ගේ පාවෙන අවි ගබඩා 8ක් විනාශකිරීම දක්වා වූ ක්‍රියාන්විත පසුපස සිටි නිසාය. අනුරාධපුර මධ්‍යමහා විද්‍යාලයෙන් පටන් ගෙන බ්‍රිතාන්‍යයේ රාජකීය නාවිකහමුදා ඇකඩමිය දක්වා ගිය ගමනක ප්‍රතිපලයක් ලෙස මෙම තනතුරට පත්වූ නිසාය. මේ කිසිදු දක්ෂතාවයක් සහ ‘දමිළ’ බව අතර සම්බන්ධයක් නැත.

නාවික හමුදාපතිතුමනි, ජාතිවාදීන් ඔබව සැකකිරීම හෝ ප්‍රශ්න කිරීම අරුමයක් නොවේ. වසර 30ක යුද්ධයකින් පසු දේශපාලකයන් සහ රටේ ජනතාව හමුදාව සහ එහි ඉහල නිලධාරින් පිළිබද සැලකිලිමත්විමද අරුමයක් නොවේ. අරුමය නම්, දැන දැනම ඇවිලෙන ගින්නට පිදුරු දමන, කොලබ සිවිල් සමාජයේ මහත්තුරු, ඔබ ‘දමිළ’ නිසා සුභපැතීමය. මේ අය හිතාමතාම ‘දෙමළ’ වීම ගැන කතාකරන්නේ, ඔබේ දෙමල බව ජපකරන විට ඔබට විරුද්ධ ‘අනෙකාව’ අවුස්සගෙන අලුත් ‘ගෝනිබිල්ලෙකු’ මැවියහැකි නිසාය. ජාතිවාදී බිල්ලා එලියට ගේන්නේ මෙවැනි සුක්ෂම වැඩපිළිවෙලවල් මගිනි.

අනෙක් ලොකුම විහිළුවනම් ‘දෙමළ නාවික හමුදාපතිවරයාට’ Facebook එකේ සුබපතන බොහොමයක් මහත්තුරු ඔබේ යුධ ඉතිහාසය හිතාමතාම අමතක කිරීමය. ඊට ප්‍රධානම හේතුව ඔබ මුහුදු කොටි ඉලක්ක 70 වඩා විනාශ කළබවත්, යුද්ධයේ අවසන් අදියරේදී විශාල කාර්යභාරයක් ඉෂ්ට කළබවත් සිතන විට ඔවුන්ගේ හිත් රිදෙන නිසා විය හැක. ජිනීවා වලදී රණවිරුවා ‘හමුදාකාරයා’ කරන අය හදිසියේම ඔබ ‘දෙමළ’ නිසා ‘රණවිරුවෙකු’ බවට පත්කිරීම මුදල් ගෙවා ප්‍රචාරය කරනලද දැන්වීමක් බදුය. අනෙක් අතට ඔබව ප්‍රශ්ණ කල බොහෝදෙනෙකු අසා තිබුනේ ඔබේ සුදුසුකම් ගැනවත් ඔබ දෙමළ වීම ගැනවත් නොව ඔබ ඇමරිකානු තානාපති කාර්යාලයේ රාජකාරි කිරීම ගැනය. ඊට සාධාරණ පිළිතුරක් ඔබට ඇතැයි මම තරයේ විශ්වාස කරමි. 1982 පටන් කටින් නොව රණබිමේදී ඔබේ දේශප්‍රේමිත්වය ඔප්පුකර ඇතිනිසා ඉතිරි වසර කිහිපයේත් එසේම කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

නාවික හමුදාපතිතුමනි ඔබට සුබපතන්නේ ඔබ ‘දමිළ’ නිසා නොව ඔබ ‘සුදුසු’ නිසාය

Leave your comment