කුඩු බොන අයට වඩා කුඩු විකුණන අය අල්ලන හැටි ජනපති කියයි!

මත්පෙති සහ මත්ද්‍රව්‍ය රට තුළ ව්‍යාප්තවීම වැළැක්වීම සදහා පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේ බුද්ධි අංශවල මෙහෙයවීමෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිතුමා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය. මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ රැස්වීමකදී ජනාධිපතිතුමා මෙම උපදෙස් දෙනු ලැබීය.

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය අළෙවිකිරීම සහ මෙරටට රැගෙන ඒම පිළිබද නීති කෙතරම් ශක්තිමත් කර තිබුණ ද, දිවයිනේ ඇතැම් ප්‍රදේශවල මත්කුඩු සහ මත්පෙති ව්‍යාප්තිය ඉහළ ගොස් තිබෙන බව වාර්තා වී ඇතැයි ද ජනාධිපතිතුමා මෙහිදී නිලධාරීන්ට පෙන්වා දුන්නේය. අද බරපතළ සමාජ අභියෝගයක් බවට පත්ව ඇති මෙම ව්‍යසනයෙන් තරුණ පරපුර නිදහස් කර ගැනීම සදහා සමාජයේ වගකිවයුතු සියලූ පිරිස්වල කඩිනම් අවධානය යොමු විය යුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

රට තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීම සදහා දැනට ක්‍රිරයාත්මක වැඩපිළිවෙළ වඩා තදින් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී නිළධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිතුමා එම කටයුතුවලදී විදේශ රටවල සහයෝගය ලබාගනිමින් කටයුතු කිරීමට ද උපදෙස් දුන්නේය.

තමා සිදුකළ විදේශ සංචාර රැසකදී මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ සදහා සහය දැක්වීමට තමාට රටවල් රැසක රාජ්‍ය නායකයින් සහතික වී තිබෙන බවද ජනාධිපතිතුමා සිහිපත් කළේය. එසේම පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට ඉදිරියේදී වඩාත් පුලුල් වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කිරීමට ද ජනාධිපතිතුමා මෙහිදී අදාළ අංශ වෙත උපදෙස් දෙනු ලැබීය.

මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළට අවශ්‍ය සියලූ පහසුකම් ලබාදෙමින් එම අංශ ශක්තිමත් කිරීමට රජයේ උපරිම වගකීම් ඉටුකරන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

Leave your comment