“කවුරු ආවත් ගියත් 2020 වනතුරු මම ආණ්ඩුව කරනවා” – ජනපති මාධ්‍ය ලොක්කන්ට කියපු හැටි

“කවුරු ආවත් ගියත් 2020 වනතුරු මම මේ ආණ්ඩුව කරනවා.” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ කියා සිටියේ ඊයේ (30) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පුවත්පත් කතුවරුන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවැති හමුව අමතමිනි. එහි දී වැඩිදුරටත් මේ පිළිබඳ අදහස් දැක්වූ ජනාධිපතිවරයා “දැනට රටේ තියෙන පාලන ක්‍රමය අනුව කිසිම පක්ෂයකට තනියම ආණ්ඩුවක් පිහිටුවන්න බෑ.

ඒ යථාර්ථය තේරුම් ගත යුතුයි. මේ සම්මුතිවාදී ආණ්ඩුව 2020 වනතුරු ගැටලුවක් නැතුව ඉදිරියට යනවා. ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම මගේ වගකීම. මගේ නිල කාලය තුළ ඒ වගකීම ඉටු කරන්න මම බැඳී ඉන්නවා. ඒ නිසා කවුරු ආවත් කවුරු ගියත් මට ගැටලුවක් නෑ. මම රට වෙනුවෙන් මගේ වගකීම ඉටුකළ යුතුයි. 2020ට පෙර යම් ආණ්ඩු පෙරළියක් සිදු වෙනවා නම් එය සිදුවිය යුත්තේ දේශපාලන කුමන්ත්‍රණයක් හරහා මිස වෙන මගකින් නොවෙයි.”

මෙම මාධ්‍ය හමුව කැඳවීමේ ප්‍රධාන අරමුණ වී තිබුණේ 66 වැනි ශ්‍රීලනිප සංවත්සරය ගැන පුවත්පත් කතුවරුන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමයි. මේ අවස්ථාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය   වසර 66ක කාලයක් පුරා රටට හා ජනතාව වෙනුවෙන් ඉටුකරනු ලැබූ ඓතිහාසික කාර්යභාරය පිළිබඳව දීර්ඝ විස්තරයක් කළේය. එමෙන්ම එහි දී 66 වැනි සංවත්සරය සමරන්නේ දූෂණයෙන් තොර පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සඳහා සාමූහිකත්වයෙන් යුතු පුළුල් දේශපාලන වැඩපිළිවෙළක අවශ්‍යතාව මතු කරමින් බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

(ජනාධිපතිවරයා කළ සම්පූර්ණ කතාව 05 පිටුවේ)
ජනාධිපතිවරයාගේ කතාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට ජනපතිවරයා ඉතා සැහැල්ලුවෙන් සිනාමුසු මුහුණින් යුතුව  පිළිතුරු දුන්නේය. එහි දී වංචා හා දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති දේශපාලනඥයින් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම ගැන ඇසූ පැනයට පිළිතුරු දුන් ජනාධිපතිවරයා කියා සිටියේ “ඔය සමහර හොරකම් කරලා තියෙන්නේ බොහොම දක්ෂ විදියටයි. ඒවා මේ කුකුළෙක්, කෙහෙල් කැනක් හොරකම් කරනවා වගේ ‍නෙවෙයි. මේවා අල්ලන එක ‍ලේසි නෑ. ඒ වගේම මේවාට කාලයක් යනවා. ඒ වැඩපිළිවෙළ ඉදිරියටත් ක්‍රියාත්මක කරනවා. වැරදි කරලා තියෙනවා නම් ශ්‍රී ලංකා යූඇන්පී කියලා මගේ වෙනසක් නෑ.” කියාය.

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලනිපයේ සභාපතිවරයා බව ප්‍රකාශ කරන බවත් ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියම සභාපතිවරයා කවුද යන්නත් එහි දී ප්‍රශ්නයක් මතු කළා. එම ප්‍රශ්නයට ද ජනාධිපතිවරයා සිනාමුසුව පිළිතුරු දුන්නා.

“2015 සැප්තැම්බර් 05 වැනි දා ‍පොළොන්නරුවේ පැවැති අපේ පක්ෂයේ 64 වැනි සමුළුවට මගේ සභාපතිත්වය යටතේ මහින්ද රාජපක්ෂ මහත්තයා සහභාගි වුණා. සත්‍ය තත්ත්වය කුමක්ද කියලා මේ රටේ ජනතාව දන්නවා. මම ජනාධිපතිවරයා වුණාට පස්සේ ඒ පැත්තෙන්ම මට කතා කරලා සාකච්ඡාවක් ඉල්ලුවා. මම ඒ සාකච්ඡාවට වෙලාවකුයි දිනේකුයි දුන්නා. මමයි මහින්ද රාජපක්ෂයි, චමල් රාජපක්ෂයි කථානායක නිල නිවසේ දී සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවේ දී මට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තනතුර භාරගන්න කියලා කිව්වා. ඇත්තටම මට එවෙ‍ලේ පුදුම හිතුණා. ඡන්දෙන් පස්සේ එදා තමයි මම රාජපක්ෂ පවු‍ලේ සියලු දෙනාම එතැන දී හමු වුණේ. මම එළියට එනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පනහක් හැටක් විතර මට සුබ පැතුවා. ඊට පස්සේ පදනම් ආයතනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනා රැස්වෙලා සාකච්ඡා කරලා තිබුණා පක්ෂ සභාපතිකම පිළිබඳව.

මට එවෙ‍ලේ දුරකථන ඇමතුමක් දීලා කිව්වා ඔබතුමා ඇවිත් පක්ෂයේ සභාපතිකම භාරගන්න කියලා. මම බොහොම සතුටින් පදනම් ආයතනයට ගිහිල්ලා පක්ෂ සභාපතිකම භාරගත්තා.”

විගණන පනත පිළිබඳව ද මෙහි දී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කෙරිණි. ඊට පිළිතුරු දුන් ජනාධිපතිවරයා කියා සිටියේ 2017 ජනවාරි මාසයේ දී එය බලාත්මක කරන බවට මා ‍පොරොන්දුවක් දුන්නත් මේ වනතුරු එය යථාර්ථයක් කර ගැනීමට බැරිවීම පිළිබඳව තමා කනගාටු වන බවයි. විගණන කොමිසම වැඩ පටන්ගෙන තිබුණත් විගණන පනත ප්‍රමාද වීම නිසා ඔවුන් බරපතළ ගැටලුවකට මුහුණ පා ඇති බව ද කියා සිටි ජනාධිපතිවරයා ඉතා ඉක්මනින් මෙම ගැටලුව විසඳන බවට ද ‍පොරොන්දු විය.

බැඳුම්කර කොමිසම ගැන නැගුණු ප්‍රශ්නවලට ද ජනපතිවරයා පිළිතුරු දුන්නේය. එහි දී පක්ෂ භේදයකින් තොරව පිරිසිදු දේශපාලන  පක්ෂයක අවශ්‍යතාව රටේ මතුව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා  වැඩිදුරටත් කීවේ තමා වංචාවට හා දූෂණයට එරෙහිව එදා පෙනී සිටියා මෙන් ඉදිරියට ද ඒ වෙනුවෙන් කැපවන බවයි.

එහි දී 2012 සිදු වූ සිද්ධියක් පිළිබඳව මතකය අවදි කරමින් ජනාධිපතිවරයා අපූරු කතාවක් කීවේය.

“2012 මහ බැංකුවේ ආර්ථික කටයුතු පිළිබඳව කමිටුවේ දී එක්තරා ඇමැතිවරයෙක් රටේ පාරවල් හැදෙන එක ගැන ප්‍රශ්නයක් මතු කළා. එදා ඒ ඇමැතිවරයා කීවේ පාරවල් හැදීමත් එක්ක විශාල වංචාවක් හා දූෂණයක් වෙනව කියලයි. ඒක ආණ්ඩුවට හොඳ නැති බවත් ඉන් නිදහස් විය යුතු බවත් ඇමැතිවරයා කියා සිටියා. ඒ වෙලාවේ  මමත් නැගිටලා ඊට පිළිතුරු බැන්දා. පහුවදා අරලියගහ මන්දිරයෙන් මට දුරකථන ඇමතුමක් ආවා. මම අරලියගහ මන්දිරයට යනවිට එදා අරලියගහ මන්දිරයේ හිටි ප්‍රධානීන්ගේ මූණ එතරම් හොඳ මට්ටමක තිබුණෙ නෑ. මගෙන් ඇහුවා ඊයේ ආණ්ඩුවේ වංචා දූෂණ ගැන කතා කරලා තියෙනවා නේද කියලා. මට ඒ වෙලාවේ එකපාරටම ඒ සිද්ධිය මතකයට ආවේ නෑ. ඊට පස්සේ ඔහු තදින් කීවා ඇයි අර පාරවල් හදන එක ගැන දූෂණ වෙනව කියලා කතා කරලා තියෙන්නේ. මොකද පක්ෂ ‍ලේකම් හැටියට ආණ්ඩුව විවේචනය කරමින් වෙනත් ගමනක් යන්නද හදන්නේ? කියලා. එ වෙලාවේ ආචාර්ය පී.බි. ජයසුන්දර මහත්තයා එතැනට ආවා. එයාගෙනුත් ඇහුවා මෙයා ඊයේ ආණ්ඩුව විවේචනය කළා නේද කියලා.  ඔහු ඒ වෙලාවේ කීවා මේ ඇමැතිතුමා නම් එච්චර තදින් කතා කළේ නෑ. හැබැයි ඔය ප්‍රශ්නෙ මතු කළේ වෙන ඇමැතිවරයෙක් කියලා.”

සයිටම් ප්‍රශ්නය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය සංගමය ජනාධිපතිවරයාට කළ චෝදනාවක් ද එහි දී කරළියට  පැමිණියේය. එහි දී ජනාධිපතිවරයා අවධාරණය කළේ රජයේ වෛද්‍ය සංගමයේ නිලධාරීන්ගේ ඒ ප්‍රකාශය වැරදි එකක් බවයි. ඒ සම්බන්ධයෙන් පාදෙණිය මහත්තයාගෙන් මම ඇහුවම ඔහු කිව්වා  අපි ඒ වගේ ප්‍රකාශයක් කළේ නෑ සර්. ඒක මාධ්‍ය වරද්දලා තමයි දාලා තියෙන්නේ කියලා.

අනතුරුව 2020න් පසුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නැවත ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වන්නේ ද යන පැනය ඉදිරිපත් විය. එහි දී ඊට පිළිතුරු දුන් ජනාධිපතිවරයා කීවේ “එහෙම දෙයක් මම කියලත් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නෙත් නෑ.” යනුවෙනි.

මේ දිනවල උණුසුම් මාතෘකාවක් වූ ක්‍රිකට් ප්‍රශ්නය කරළියට පැමිණියේය. එහි දී අර්ජුන රණතුංග අමාත්‍යවරයා විසින්  ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපිය පිළිබඳව විමසීය. එහි දී ජනාධිපතිවරයා කියා සිටියේ එවැනි ලිපියක් තමාට ලැබුණු බවයි. එම ලිපියට ජනාධිපතිවරයා කිනම් ක්‍රියාමාර්ගයක් ගන්නේ දැයි නැවත ඇසූ පැනයට සිනාසෙමින් පිළිතුරු දුන් ජනාධිපතිවරයා කීවේ “ක්‍රිකට් මණ්ඩලයේ සභාපතිත් එක්ක ඒ ගැන කතා කරනවා. ඒකට එයාගෙන් වෙලාවක් ගන්න ඕන.” කියාය. ජනාධිපතිවරයා එය කීවේ මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වී සිටි නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා දෙස බලමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීම  පිළිබඳව ද ප්‍රශ්න කෙරිණි. එහි දී ජනාධිපතිවරයා කියා සිටියේ පක්ෂ විනයට පිටින් කවරෙකු හෝ වැඩ කර ඇත්නම් දඬුවම් කරන්න සිදුවෙනවා යනුවෙනි. එසේම මේ වන විටත් එම පරීක්ෂණ ආරම්භ වී ඇති බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ප්‍රමාද වන නඩුහබ ඉක්මන් කිරීම සඳහා අලුත් අධිකරණයක අවශ්‍යතාව පිළිබඳව ද ජනාධිපතිවරයාගෙන් මෙහි දී විමසීය. එහි දී ජනාධිපතිවරයා කියා සිටියේ අගමැතිවරයා හා නීති අංශ සමග තමන් මේ ගැන සාකච්ඡා කළ බවත් ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට තමන් බලා‍පොරොත්තු වන බවත්ය.

මාධ්‍ය හමුවෙන් අනතුරුව ජනාධිපතිවරයා පැමිණ සිටි සියලු දෙනාටම උදෑසන තමන් සමග ආහාර ගන්නා ලෙසට ඇරයුම් කළේය. අනතුරුව ජනාධිපතිවරයා ද මාධ්‍යවේදීන් සමග පිළිසඳරේ යෙදෙමින් ඊට එක්විය.

Leave your comment